Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

 ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද?

 ලිංගික ආශාවන් සන්සිඳවගන්න, තව කෙනෙක්ව අනවශ්‍ය විදිහට අල්ලන එක සහ ලිංගික දේවල් ගැන කියලා කරදර කරන එක වගේ ඕනම ක්‍රියාවක් ලිංගික හිරිහැරවලට අයත් වෙනවා. සමහර අවස්ථාවලදී කෙනෙක් ඔයාට ආල හැඟුම් පානවා. නැත්නම් විහිළුවක් කරනවා. ඒත් ඒක ලිංගික හිරිහැරයක්ද නැද්ද කියලා ඔයාට තේරුම්ගන්න අමාරු ඇති.

 ඒක තේරුම්ගන්නේ කොහොමද? පල්ලෙහා තියෙන  ප්‍රශ්නවලට උත්තර කල්පනා කර බැලීමෙන් ඒ ගැන දැනගන්න.

 පුංචි කාලෙදි විතරක් නෙමෙයි ලොකු වුණාමත් කෙනෙක් ලිංගික හිරිහැරවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ වෙලාවකදී මොකක්ද කරන්න ඕනෙ කියන එක දැන් ඉඳන්ම දැනගන්න එක හොඳයි නේද? එතකොට රස්සාවක් කරන්න ගියා වුණත් කවුරු හරි ලිංගික හිරිහැරයක් කරන්න ආවොත් බය නැතුව ඒකට මූණ දෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම කාමාතුරයෙක්ගෙන් වෙන කෙනෙක්ට කරදරයක් වෙන එක නවත්වන්නත් ඔයාට පුළුවන් වෙයි.

 මම ලිංගික හිරිහැරවලට දැනටමත් ලක් වෙනවා නම් . . .

 ලිංගික හිරිහැර ගැනත් ඒ වගේ වෙලාවකදී මොනාද කරන්න ඕනේ කියන එක ගැනත් දැනුවත්වෙලා හිටියොත් ඒකෙන් මිදෙන්න ඒක ඔයාට උදව්වක් වෙයි. සමහර වෙලාවට ඔයාටත් ලිංගික හිරිහැරයකට මූණ දෙන්න සිදු වෙන අවස්ථා තුනක් හා ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් දේවල් තුනක් දැන් අපි බලමු.

 සිද්ධිය:

“මං වැඩ කරන තැන මට වඩා වයසින් වැඩි පිරිමි අය ඉන්නවා. ඒගොල්ලෝ මට හැමතිස්සෙම ‘ඔයා හරි ලස්සනයි’ කියලා කියනවා. ‘අපරාදේ මං අවුරුදු තිහක් විතර බාල වුණේ නැත්තේ’ කියලත් කියනවා. දවසක්දා එක්කෙනෙක් මගේ පිටිපස්සෙන් හිමීට ඇවිල්ලා මගේ කොණ්ඩෙත් ඉම්බා.”—20 හැවිරිදි තබීතා.

 තබීතාමෙහෙම හිතුවා නම්: ‘ගණන් ගන්නේ නැතුව ඉවසගෙන ඉන්නවා. එයාම ඒක නතර කරයි.’

 එහෙම හිතන එක තේරුමක් නැත්තේ ඇයි: විශේෂඥයන් කියන්නේ කෙනෙක් හිරිහැර කරද්දී ඒකට ලක් වෙන කෙනා ඒක ගණන් ගන්නේ නැතුව හිටියොත් වෙන්නේ ඒ තත්වය තවත් දරුණු වෙන එකයි.

 මෙහෙම කරලා බලන්න: සද්ද නැතුව ඉන්න එපා. ඒකෙනා ඔයාට කියන දේ හරි කරන දේ හරි නවත්වන්න කියලා සන්සුන්ව හැබැයි කෙළින් කියන්න. “කවුරු හරි මාව අනවශ්‍ය විදිහට අල්ලන්න ආවොත් ‘ආයෙ මාව ඇල්ලුවොත් බලාගෙනයි’ කියලා කියන්න. එතකොට මිනිහා බය වෙනවා.” එහෙම කිව්වේ 22 හැවිරිදි ටෙරින්. ඔයාට කරදර කරන කෙනා නැවැත්තුවේ නැතත් ඔයා බය නැතුව ඊළඟ වතාවලදීත් එපා කියලා කෙළින්ම කියන්න. අපි සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් ‘ස්ථිර විශ්වාසයකින් නොසැලී සිටින්න’ ඕනේ.—කොලොස්සි 4:12.

 ඔයාට කරදර කරන කෙනා ඔයාට අනතුරක් කරනවා කියලා තර්ජනය කළොත්? ඒ වගේ වෙලාවක ඒක ගණන් නොගෙන ඉන්න එපා. එතැනින් පුළුවන් ඉක්මනටම පැනලා යන්න. ඊටපස්සේ විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටියෙක්ට ඒ ගැන කියන්න.

 සිද්ධිය:

“මම හය වසරෙ ඉන්න කොට දවසක් ගෑණු ළමයි දෙන්නෙක් මාව කොරිඩෝවෙදී එකපාරටම අල්ලගත්තා. එක්කෙනෙක් සමලිංගික කෙනෙක්. එයාට ඕන වුණා මාත් එක්ක යාළු වෙන්න. මම කැමති නෑ කියලා කිවුවත් හැමදාම මට කරදර කළා. එක දවසක් එයාලා මාව බිත්තියට තල්ලු කරලා තද කරගෙන හිටියා.”—18 හැවිරිදි වික්ටෝරියා.

 වික්ටෝරියා මෙහෙම හිතුවා නම්: ‘කාට හරි මේවා කියන්න ගියොත් හිතයි මං හරි බයගුල්ලෙක් කියලා. සමහර වෙලාවට කවුරුත් මාව විශ්වාස කරන එකකුත් නැහැ.’

 එහෙම හිතන එක තේරුමක් නැත්තේ ඇයි: කාටවත් කියන්නෙ නැතුව ඉන්න ගියොත් ඒ කෙනා කරදර කරන එක නතර කරන එකක් නෑ. ඒ විතරක් නෙමෙයි වෙන අයටත් කරදර කරයි.—දේශනාකාරයා 8:11.

 මෙහෙම කරලා බලන්න: උදව් ඉල්ලන්න. කරදර කරන කෙනා එක්ක කටයුතු කරන්න ඕනේ විදිහ ගැන ඔයාට කියලා දෙන්න ඔයාගේ දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් පුළුවන්. ඒත් කවුරු හරි ‘ඒක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි’ කියලා කියනවා නම් මොනවාද කරන්න පුළුවන්? එහෙම වුණොත් ඔයාට කරදර කරන හැම අවස්ථාවකදීම මේ තොරතුරු ටික කොළයක ලියාගන්න. සිද්ධිය වුණු දවස, වේලාව, තැන වගේම ඒ කෙනා කරපු කියපු දේත් ලියන්න. ඒක අම්මා තාත්තාට හරි ගුරුවරයාට හරි දෙන්න. සාමාන්‍යයෙන් දෙයක් කටින් කියනවාට වඩා කොළයක ලියලා පැමිණිල්ලක් බාර දෙනකොට ඕන කෙනෙක් බැරෑරුම්ව සලකනවා.

 සිද්ධිය:

“රගර් ටීම් එකේ කොල්ලෙක් හිටියා. එයාට මං ගොඩක් බයෙන් හිටියේ. එයා අඩි හයහමාරක් විතර උස ඇති, බරත් කිලෝ 135ක් විතර ඇති! එයාගෙ ඔළුවෙ තිබ්බෙම කවදා හරි මාත් එක්ක එකට ඉන්න ඕනේ කියලා. එයා හැමදාම මට කරදර කළා. දවසක් අපි දෙන්නා විතරයි පන්තියේ ඉතුරු වෙලා හිටියේ. එයා ටික ටික මං ළඟට එන්න පටන්ගත්තා. මම ටක් ගාලා පැනලා දිව්වා.”​—18 හැවිරිදි ජුලියෙටා.

 ජුලියෙටා මෙහෙම හිතුවා නම්: ‘කොල්ලෝ එහෙම තමයි.’

 එහෙම හිතන එක තේරුමක් නැත්තේ ඇයි: කරන දේ කිසි වරදක් නැහැ කියලා හැමෝම හිතුවොත් ඒ වැරැද්ද කවදාවත් එයා හදාගන්න එකක් නෑ.

 මෙහෙම කරලා බලන්න: ඒ වගේ වෙලාවක මඟහරින්න හිතාගෙන විහිළුවක් කරන්න හරි හිනාවෙන්න හරි හිතෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න එපා. ඒ වෙනුවට ඔයාගේ ඉරියව්වලින් ඔයා ඒ දේට කොහොමටවත් කැමති නෑ කියන එක එයාට කෙළින්ම පෙන්වන්න.

 මට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

 සත්‍ය කතාව 1:

“සාමාන්‍යයෙන් මං කාගෙවත් හිත රිදෙන විදියට කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා කොල්ලෝ මට කොච්චර කරදර කළත් මං එයාලට තදින් ඉන්නේ නෑ. එපා කියන්නේ වුණත් හිනාවෙලා. ඒ නිසා එයාලා හිතුවේ මං එයාලා කරන දේවලට කැමතියි කියලා.”—තබීතා.

  •   ඔයා තබීතා නම් මේ වගේ වේලාවකදී ඔයා මොකද කරන්නේ? ඇයි එහෙම කරන්නේ?

  •   ඔයා කැමතියි කියලා කරදර කරන කෙනාට හිතෙන්න ඉඩ තියෙන්නේ ඔයා මොන වගේ දෙයක් කළොත්ද?

 සත්‍ය කතාව 2:

“අපේ P.T. පංතියේ පිරිමි ළමයි කට්ටියක් මට එක එක නරක කතා කියන්න ගත්තා. මම සති ගාණක්ම එයාලව ගණන් ගත්තේ නෑ. හැබැයි ඒකෙන් වුණේ තත්වෙ නරක අතට හැරෙන එක විතරයි. පස්සේ ඒගොල්ලො මං ළඟ ඉඳගෙන කරට අත දාන්නත් පටන් ගත්තා. මං එයාලව තල්ලු කළත් එයාලා නැවැත්තුවේ නෑ. පස්සේ එක කොල්ලෙක් මට ජරා කතාවක් ලියලා කොළයක් දුන්නා. මං ඒක ටීචර්ට දුන්නා. එයාගේ පන්ති තහනම් කළා. ඒ වෙලාවේදී තමයි මට හිතුණෙ ‘අපරාදේ මේ ගැන කලින්ම කියන්න තිබුණේ’ කියලා.”—සබීනා.

  •   කලින්ම ටීචර්ට මේ ගැන කිව්වේ නැත්තේ මොන හේතුව නිසා වෙන්න ඇත්ද? එයා ගත්ත තීරණේ හරියි කියලා ඔයා හිතනවාද? ඒ ඇයි?

 සත්‍ය කතාව 3:

“මගේ මල්ලි ග්‍රේග් දවසක් ටොයිලට් එකේ ඉද්දී කොල්ලෙක් ළඟටම ඇවිල්ලා ‘මාව කිස් කරන්න’ කියලා එයාට කිව්වා. මල්ලී බෑ කියලා කිව්වත් ඒ කොල්ලා අයින් වුණේ නෑ. ඒ හින්දා මල්ලි එයාව තල්ලු කරලා දැම්මා.”—සුසෑන්

  •   ඒ කොල්ලා ග්‍රේග්ට ලිංගික හිරිහැරයක් කරන්න ආවා කියලා ඔයාට හිතෙනවාද? ඇයි එහෙම හිතෙන්නේ?

  •   තවත් පිරිමි ළමයෙක් තමන්ට ලිංගික හිරිහැර කරද්දී සමහර පිරිමි ළමයි සද්ද නැතුව ඉන්නේ ඇයි?

  •   ග්‍රේග් ඒ වෙලාවේදී කරපු දේ හරියි කියලා ඔයාට හිතෙනවාද? ඔයාට ඒක වුණොත් ඔයා මොකද කරන්නේ?

තවත් දැනගන්න: ‘යොවුන් සිතේ ගැටලු’ 1වෙනි පොතේ “කාමාතුරයන්ගෙන් මම ආරක්ෂා වෙන්නේ කොහොමද?” යන 32වෙනි පරිච්ඡේදය බලන්න.