Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

 “මං ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් ඇවිත් කිව්වොත් එයා ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා කියලා අනිත් හැමෝටමත් ඕනෙ වුණා ඒ දේම කරන්න. මොකද කවුරුත් කැමති නෑනේ යාළුවෝ ඉස්සරහා කොන් වෙන්න.”—ඉලේන්, 21.

 හැමෝම වගේ ලිංගික සම්බන්ධකම් පවත්වන නිසා ඔයාටත් එහෙම කරන්න හිතිලා තියෙනවාද?

 ඔයා ආදරේ කරන කෙනෙක් බල කරන නිසා ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඔයාට කවදා හරි හිතිලා තියෙනවාද?

 එහෙමනම් ලිංගික සම්බන්ධකම් පවත්වන්න යාළුවන්ගෙන් එන පීඩනයටයි ඔයාටම එන පෙලඹීම්වලටයි හොඳින් මුහුණ දීලා හරි තීරණයක් ගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 වැරදි අදහස සහ හරි අදහස

 වැරදි අදහස: මං හැර අනිත් හැමෝම ලිංගික සම්බන්ධකම් පවත්වනවා.

 හරි අදහස: එක සමීක්ෂණයකට අනුව අවුරුදු 18ක් වයස තුන්දෙනෙක්ගෙන් දෙන්නෙක් ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙනවා. හැබැයි ඒකෙන් පේනවා සීයට තිහකටත් වඩා වැඩිදෙනෙක් එහෙම කරලා නැහැ කියලා. ඒක ලොකු ගාණක්. ඒ කියන්නේ “හැම කෙනෙක්ම” ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ.

 වැරදි අදහස: ලිංගික සම්බන්ධකම් පවත්වන එකෙන් අපේ බැඳීම ශක්තිමත් වෙනවා.

 හරි අදහස: සමහර පිරිමි ළමයි ලිංගික සම්බන්ධකම් පවත්වන්න ගැහැණු ළමයින්ව පොලඹවාගන්න එහෙම කිව්වත් ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. හුඟක් වෙලාවට පිරිමි ළමයෙක් ලිංගික සම්බන්ධකම් පවැත්වුවාට පස්සේ ගැහැණු ළමයාව අත්හැරලා දානවා. මෙච්චර කල් තමන්ට ආදරෙයි, තමන්ව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා හිතන් හිටපු කෙනා ඒ වගේ දෙයක් කළාම ගැහැණු ළමයෙක් මානසිකව වැටෙනවා. a

 වැරදි අදහස: ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලා බයිබලේ කියනවා.

 හරි අදහස: ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් විවාහ වුණාට පස්සේ ලිංගික සම්බන්ධකම් පවත්වන්න එයාලට පුළුවන් කියලා බයිබලේ කියනවා.—උත්පත්ති 1:28; 1 කොරින්ති 7:3.

 වැරදි අදහස: බයිබලේ කියන විදිහට ජීවත් වෙන එකෙන් කිසි සතුටක් ලැබෙන්නේ නැහැ.

 හරි අදහස: විවාහ වෙන කල් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න එකෙන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒකෙන් විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වපු අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, හිත වධ දෙන එක, අසරණකමක් දැනෙන එක වගේ දේවල් වළක්වාගන්න ඔයාට පුළුවන්.

 මේක මතක තියාගන්න: ලිංගික සම්බන්ධකම් පවත්වන්න විවාහ වෙන කල් හිටපු එකෙන් කාටවත් නරකක් වෙලා නැහැ. හැබැයි ඊට කලින් ලිංගික සම්බන්ධකම් පවත්වපු අයට එහෙම වෙලා තියෙනවා.

 ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?

  •   හරි දේ කරන්න තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න. බයිබලේ කියනවා අවබෝධයෙන් වැඩ කරන අය තමන්ගේ “වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති” කියලා. (හෙබ්‍රෙව් 5:14) හරි වැරැද්ද ගැන බයිබලේ තියෙන දේ කරන්න අධිෂ්ඨානයක් තියෙන කෙනෙක් වැරදි දෙයක් කරන්න එන බලපෑමට ලේසියෙන් අහු වෙන්නේ නැහැ.

     “හරි දේ කරලා හොඳ නමක් තියාගන්න මම ගොඩක් මහන්සි වෙනවා. ඒ නම කැත වෙන විදිහේ දෙයක් මම කීයටවත් කරන්නේ නැහැ.”—ඇලීෂියා, 16.

     හිතන්න දෙයක්: ඔයාට ඕනෙ මොන වගේ නමක් ඇති කරගන්නද? තව කෙනෙක්ව සතුටු කරන්න ඕනෙ නිසා ඒ නම කැත කරගන්න එකේ වැඩක් තියෙනවාද?

  •   ප්‍රතිඵල ගැන හිතන්න. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි” කියලා බයිබලේ කියනවා. (ගලාති 6:7) ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන බලපෑමට අහු වුණොත් ඒකෙන් ඔයාටයි අනිත් කෙනාටයි ඉස්සරහට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා හිතලා බලන්න. b

     “බඳින්න කලින් ලිංගික සම්බන්ධකම් පවත්වන එකෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, ලිංගිකව බෝ වෙන රෝග විතරක් නෙමෙයි හිත වධ දෙන එක, පසුතැවෙන එක, තමන්ට කවුරුත් ආදරේ නෑ කියලා හිතෙන එක වගේ දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”—සියෙනා, 16.

     හිතන්න දෙයක්: එක පොතක මෙහෙම කියනවා. “ඔයාගේ මුළු ජීවිතේම අවුල් වෙන විදිහේ දෙයක් කරන්න යාළුවෝ ඔයාව පොලඹවනවා නම් ඒ වගේ අයව ළඟින් ආශ්‍රය කරන එක හොඳ දෙයක්ද? ජීවිතේ වැදගත් කාරණා ගැන ඔයා උපදෙස් ගන්න ඕනෙ ඒ වගේ අයගෙන්ද?”—Sex Smart.

  •   සමබරව හිතන්න. ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදි දෙයක් නෙවෙයි. විවාහක යුවළකට ලිංගික සම්බන්ධකම් පවත්වලා සතුටක් ලබන්න පුළුවන් කියලා බයිබලේ කියනවා.—හිතෝපදේශ 5:18, 19.

     “දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ ලිංගික සම්බන්ධකම් පවත්වන එකෙන් සතුටක් ලබන්න පුළුවන් විදිහටයි. හැබැයි ඒ විවාහය කියන සැලැස්ම ඇතුළේ විතරයි.”—ජෙරමි, 17.

     හිතන්න දෙයක්: ඔයා කවදා හරි විවාහ වුණාම ඔයාටත් ලිංගික සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. එදාට ඔයාට පුළුවන් කලින් කියපු නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්නේ නැතුව ඒකෙන් නියම සතුට ලබන්න.

a හැම තිස්සේම ලිංගික සම්බන්ධකම් පවත්වන්න අනිත් කෙනාව පොලඹවාගන්න හදන්නේ පිරිමි ළමයින්ම විතරක් නෙවෙයි. හුඟක් වෙලාවට ගැහැණු ළමයිනුත් එහෙම කරනවා.

b මුහුණ දෙන්න වෙන අනිත් ප්‍රතිඵලවලට අමතරව අනවශ්‍ය ගැබ්ගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලිංගික සම්බන්ධකම් පවත්වපු දෙන්නාගේ වයස අඩුයි නම් නීතික ගැටලු පවා ඇති වෙන්න පුළුවන්.