Skip to content

යොවුන් සිතේ ගැටලු

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

 නිර්මාණය කළාද? පරිණාමය වුණාද?

 දෙවියන් හැම දෙයක්ම නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරනවාද? ඔයා විතරක් නෙමෙයි ඔයාගේ වයසේ ඉන්න හුඟදෙනෙක් (වගේම වැඩිහිටියනුත්) එහෙම විශ්වාස කරනවා. ඒත් ජීවයත් විශ්වයත් ඉබේ ඇති වුණා කියලා හිතන අයත් ඉන්නවා.

 මේක දැනගෙන හිටියාද? නිර්මාණය කළා කියන අයත් ඉබේ ඇති වුණා කියන අයත් හුඟක් වෙලාවට එහෙම කියන්නේ ස්ථිර පදනමක් ඇතුව නෙමෙයි.

  •   හැම දෙයක්ම නිර්මාණය කළා කියලා සමහරු විශ්වාස කරන්නේ ඒ අයට පල්ලියේ එහෙම උගන්වලා තියෙන නිසයි

  •   හැම දෙයක්ම ඉබේම ඇති වුණා කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ ඒ අයට පාසැලේ එහෙම උගන්වලා තියෙන නිසයි

 හැම දෙයක්ම නිර්මාණය කෙරුවා කියලා ඔයාට තියෙන විශ්වාසය තව වැඩි කරගන්නත් ඒක අනිත් අයට හොඳින් පැහැදිලි කරලා දෙන්නත් මේ ලිපි ඔයාට උදව් වෙයි. ඒත් ඊට කලින් ඔයා මේ වැදගත් ප්‍රශ්නේ ගැන හිතලා බලන්න ඕනේ.

 දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

 ඒ ප්‍රශ්නේ ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි? බයිබලයේ අපිට උනන්දු කරන්නේ “බුද්ධිමත්” විදිහට හිතන්න කියලයි. (රෝම 12:1) ඒ කියන්නේ ඔයා දෙවියන්ව පිළිගන්න ඕන,

  •  හැඟීම්වලට වහල් වෙලා නෙමෙයි (දෙවි කෙනෙක් ඉන්නවා කියලා මට හිතෙනවා)

  •  සමාජයේ බලපෑම නිසා නෙමෙයි (මම ජීවත් වෙන්නේ දෙවි කෙනෙක්ව විශ්වාස කරන පරිසරයක)

  •  කවුරුත් කියන නිසා නෙමෙයි (දෙවියන් ඉන්නවා කියලා මට කියලා දුන්නේ මගේ අම්මයි තාත්තයි)

 දෙවියන් ඉන්නවා කියලා ඔයාට තියෙන විශ්වාසය සාක්ෂි ඇතුව ඔයාම තහවුරු කරගන්න ඕනේ.

 දෙවියන්ව විශ්වාස කරන්න ඔයාට තියෙන හේතු මොනවාද? “දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?” කියන වැඩ පිටුව පුරවන්න. එතකොට ඔයාගේ විශ්වාසය තවත් වැඩි වෙයි. අනිත් යෞවනයන් ඒ ප්‍රශ්නෙට දීලා තියෙන උත්තර දැනගන්න එකත් ඔයාට ප්‍රයෝජනවත් වෙයි.

 “අපේ ටීචර් පන්තියේදී ශරීරයේ අවයව ක්‍රියා කරන විදිහ ගැන කියපු දේවල් අහගෙන ඉද්දී දෙවියන් ඉන්න ඕන කියලා මට හොඳටම පැහැදිලි වුණා. අපිට දැනුණේ නැති වුණත් ලොකු අවයව විතරක් නෙමෙයි ශරීරයේ පුංචිම පුංචි දේට පවා වැඩ කොටසක් තියෙනවා.”—තෙරේසා.

 “උස බිල්ඩිමක්, නැවක්, කාර් එකක් දැක්කම ‘කවුද මේක හැදුවේ’ කියලා මං හිතනවා? කාර් එක වැඩ කරන්න හැම පුංචි කෑල්ලක්ම ක්‍රියා කරන්න ඕනේ. කාර් එකක් හදන්න බුද්ධිමත් කෙනෙක් ඉන්න ඕන නම් අපිව හදන්න?”—රිචඩ්.

 “විශ්වයේ තියෙන පුංචිම දෙයක් තේරුම්ගන්න ලෝකේ ඉන්න බුද්ධිමත්ම මිනිසුන්ට අවුරුදු සිය ගාණක් ගියා කියලා හිතද්දී විශ්වය නිර්මාණය කරන්න බුද්ධිමත් කෙනෙක් ඕන නෑ කියලා හිතන එක පොඩ්ඩක්වත් සාධාරණ නැහැ.”—කැරන්.

 “මම විද්‍යාව ඉගෙනගන්න ඉගෙනගන්න ජීවය පරිණාමය වුණා කියන එක හිතාගන්නවත් බැහැ. අවට පරිසරයේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන්නේ ගණිත ක්‍රමයකට අනුවයි. අපි සතුන්ට වඩා වෙනස් නිසා අපි කවුද, අපි ආවේ කොහෙන්ද, අපි මැරුණාම කොහෙටද යන්නේ වගේ දේවල් දැනගන්න අපිට ඕනේ. ඒත් පරිණාමවාදීන් උත්සාහ කරන්නේ සත්ව චර්යාවන් පදනම් කරගෙන හැම දෙයක්ම විස්තර කරන්න. ඒත් අපි සතුන්ට වඩා වෙනස් ඇයි කියලා කියන්න ඒ අයට බැහැ. ඒ දේවල් සලකලා බලද්දී නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන එක ජීවය පරිණාමය වුණා කියලා හිතනවාට වඩා ලේසියි.”—ඇන්තනි.

 මගේ විශ්වාසයන්

 ඔයාට පේන්නේ නැති දෙයක් ඔයා විශ්වාස කරනවා කියලා පන්තියේ යාළුවෝ විහිළු කළොත් ඔයා මොනවාද කරන්නේ? ජීවයේ පරිණාමය විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා කිව්වොත් ඔයා මොනවාද කරන්නේ?

 ඔයා විශ්වාස කරන දේ ඔයාට ස්ථිර නම් එච්චරයි. යාළුවන්ගේ පීඩනයට අහු වෙන්න එපා. ලැජ්ජා වෙන්නත් එපා. (රෝම 1:16) මේක මතක තියාගන්න.

  1.   ඔයා වගේ තව හුඟදෙනෙක් දෙවියන්ව විශ්වාස කරනවා. විද්‍යාඥයන් ඇතුළු බුද්ධිමත් විද්වතුන් පවා දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරනවා.

  2.   මිනිස්සු කියද්දී මම දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා හුඟක් වෙලාවට ඒ අය අදහස් කරන්නේ දෙවියන්ව හරියට තේරුම්ගන්න බැහැ කියන එකයි. දෙවියන් නැහැ කියන එකට තර්කානුකූලව සාක්ෂි ඉදිරිපත් කරනවා වෙනුවට “දෙවි කෙනෙක් ඉන්නවා නම් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි” වගේ ප්‍රශ්න ඒ අය අහනවා.

  3.   ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ ආශාවක්’ ඇතුවයි මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ. (මතෙව් 5:3) දෙවියන්ව විශ්වාස කරන එකත් ඒ ආශාවට ඇතුළත්. ඉතින් කෙනෙක් කියනවා නම් දෙවියන් නැහැ කියලා එයා ඒකට හේතු ඉදිරිපත් කරන්න ඕනේ.—රෝම 1:18-20.

  4.   දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරන එක සාධාරණයි. අජීවි දෙයකින් ජීවය ඇති වුණා කියලා ඔප්පු වෙලා නැහැ. එහෙමනම් ජීවය අහම්බෙන් ඇති වෙන්න බැහැ. ඒ අනුව ජීවය නිර්මාණය කරන්න බලවත් කෙනෙක් ඉන්න ඕනේ.

 දෙවියන්ව විශ්වාස කරන එක ගැන කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාට කියන්න පුළුවන් දේවල් කීපයක් බලන්න.

 කවුරු හරි මෙහෙම කිව්වොත්: “උගත්කමක් නැති අය තමයි දෙවියන්ව විශ්වාස කරන්නේ.”

 මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “අනිත් අය කියන නිසාද ඔයා එහෙම කියන්නේ? හැබැයි මම නං එහෙම හිතන්නේ නැහැ. ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල කීපයක විද්‍යා අංශයේ මහාචාර්යවරු 1,600කට වඩා වැඩිදෙනෙක් එක්ක කරපු සමීක්ෂණයකදී තුනෙන් එකක්ම කිව්වේ දෙවියන්ව විශ්වාස කරනවා කියලයි. a ඒ මහාචාර්යවරුන් දෙවියන්ව විශ්වාස කරන නිසා ඒ අය උගත්කමක් නැති අය කියලාද ඔයා කියන්නේ?”

 කවුරු හරි මෙහෙම කිව්වොත්: “දෙවියන් ඉන්නවා නම් මෙච්චර දුක් වේදනා තියෙන්නේ ඇයි?”

 මෙහෙම කියන්න ඔයාට පුළුවන්: “ඔයා දෙවියන් ගැන හරියටම දන්නේ නැති නිසාද එහෙම කියන්නේ? නැත්නම් ඒ ගැන දෙවියන් මුකුත්ම කරන්නේ නෑ කියලා ඔයාට හිතෙන හින්දද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙච්චර දුක් වේදනා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් මට ලැබුණා. හැබැයි ඒක තේරුම්ගන්න නම් බයිබලයේ තියෙන ඉගැන්වීම් කීපයක්ම සෝදිසි කරලා බලන්න ඕනේ. ඔයා කැමතිද ඒ ගැන දැනගන්න?

 ජීවයේ ආරම්භය ගැන පරිණාමවාදීන්ට පැහැදිලි උත්තරයක් දෙන්න බැරිවෙලා තියෙන්නේ ඇයි කියන එක ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

a Source: Social Science Research Council, “Religion and Spirituality Among University Scientists,” by Elaine Howard Ecklund, February 5, 2007