Skip to content

පටුනට යන්න

බලශක්ති සංරක්ෂණය ගැන දැනුවත් වෙමු

බලශක්ති සංරක්ෂණය ගැන දැනුවත් වෙමු

අද අපි ගෙදරදොරේ, වැඩපොළේ, කාර්යාලයේ දේවල් පහසුවෙන් කරන්නෙත් ගමන් බිමන් යන්නෙත් බලශක්තිය නිසයි. ඒත් බලශක්තිය නිපදවන දේවල් එන්න එන්නම අඩු වෙන නිසා ලෝකේ පුරාම ඉන්න අයට අද ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙලා.

“ඉන්ධනවල මිල දවසින් දවස ඉහළ යන එක ලොකු ප්‍රශ්නයක්” කියලා දකුණු අප්‍රිකාවේ ගැරී කියනවා. “නිතර නිතර විදුලිය විසන්ධි වෙන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.” එහෙම කිව්වේ පිලිපීනයේ ඉන්න ජෙනිෆ. එල් සැල්වදෝරයේ ඉන්න ෆනෑන්ඩු කරදර වෙන්නේ බලශක්තිය වැඩියෙන් නිපදවද්දී සිද්ධ වෙන පරිසර හානිය ගැනයි. ඒ, බලශක්තිය ගැන මිනිසුන්ට තියෙන අභියෝග කිහිපයක් විතරයි.

‘ඒ අභියෝග ජයගන්න මට කරන්න පුළුවන් මොනවාද’ කියලා ඔයාට හිතෙනවාද?

ඔයාට පුළුවන් බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ඒ වගේම අඩු බලශක්තියකින් වැඩි කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුළුවන් විදිහට දේවල් සකස් කරගන්න. ඒකෙන් අපේ මුදල් ඉතිරි කරගන්න විතරක් නෙවෙයි පරිසරය රැකගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම දවසින් දවස ඉහළ යන බලශක්ති ඉල්ලුම ටිකකින් හරි අඩු කරගන්න දායක වෙන්නත් පුළුවන් වෙනවා.

ගෙදරදී, ගමන්බිමන් යද්දී වගේම එදිනෙදා වැඩවලදී බලශක්තිය ඉතුරු කරගන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු.

ගෙදරදී

කාමර උණුසුම් කරන සහ සිසිල් කරන උපකරණ පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න. ශීත වැඩි කාලයේ කාමරේ උණුසුම් කරන උපකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් අඩු කළොත් ඒකෙන් ලොකු විදුලියක් ඉතිරි කරගන්න පුළුවන් කියලත් අවුරුද්දක් ඇතුළත වැඩිම බලශක්තියක් ඉතිරි කරගන්න පුළුවන් ක්‍රමය ඒකයි කියලත් යුරෝපා රටක කරපු සමීක්ෂණයකින් හෙළි වුණා. කැනඩාවේ ඉන්න ඩෙරෙක් මෙහෙම කියනවා. “ශීත කාලයේදී කාමර උණුසුම් කරන උපකරණයේ ක්‍රියාකාරීත්වය තවත් වැඩි කරනවාට වඩා ඇඟ උණුසුම් කරන ඇඳුම් අඳිනවා නම් අපිට ලොකු බලශක්තියක් ඉතිරි කරගන්න පුළුවන්.”

රස්නේ රටවල වායුසමීකරණය පාවිච්චි කරද්දීත් ඒ දේම අදාළයි. පිලිපීනයේ ඉන්න රොඩොල්ෆෝ එයාගේ වායුසමීකරණයේ උෂ්ණත්වය ඕනෑවට වඩා අඩු කරන්නේ නැතුව නිවැරදි ගාණකට තියලා තියෙනවා. ඒකෙන් “සල්ලි විතරක් නෙවෙයි බලශක්තිය ඉතිරි කරගන්නත් පුළුවන්” කියලා එයා කියනවා.

කාමර උණුසුම් කරන සහ සිසිල් කරන උපකරණ පාවිච්චි කරද්දී දොර ජනෙල් හොඳින් වහලා තියන්න. * ගේ ඇතුළේ තියෙන වාතය පිටතට කාන්දු වෙන්න දෙන්නේ නැත්නම් බලශක්තිය හුඟක් ඉතිරි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට රස්නේ දවසක දොරක් හරි ජනේලයක් හරි ඇරලා තිබ්බොත් ගෙදර සිසිල් කරන්න ලොකු බලශක්තියක් වැය වෙනවා.

හුඟක් අය දොර ජනෙල් වහලා තියෙනවාට වඩා දෙයක් කරනවා. එයාලා වාතය කොහෙත්ම කාන්දු වෙන්නේ නැති බලශක්තිය සුරකින අරමුණින්ම සකස් කරපු ජනෙල් එයාලගේ නිවෙස්වලට සවි කරලා තියෙනවා.

විදුලිය වැඩිපුර පිරිමහන විදුලි බුබුළුවලට මාරු වෙන්න. “සාමාන්‍ය විදුලි බුබුළු අයින් කරලා වැඩිපුර විදුලිය පිරිමහන විදුලි බුබුළු අපි සවි කළා” කියලා ජෙනිෆ කියනවා. සාමාන්‍ය විදුලි බුබුළුවලට වඩා ඒවායේ මිල ගණන් වැඩි වුණත් ඒවාට වැය වෙන්නේ අඩු විදුලියක් නිසා දීර්ඝ කාලීනව බලද්දී ඒකෙන් ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.

ගමන් බිමන් යද්දී

පුළුවන් නම් පොදු ප්‍රවාහණ පහසුකම් පාවිච්චි කරන්න. “පුළුවන් හැම වෙලාවකම මං වැඩට යන්නේ කෝච්චියෙන් නැත්නම් මගේ සයිකලෙන්” කියලා බ්‍රිතාන්‍යයේ ඉන්න ඇන්ඩෘ කියනවා. එක පොතක සඳහන් වෙනවා “කෙනෙක් තමන්ගේම වාහනයකින් ගමන් බිමන් යද්දී කෝච්චි, බස් වගේ පොදු ප්‍රවාහන සේවයකින් යනවාට වඩා තුන්ගුණයක් ඉන්ධන වැය වෙනවා” කියලා.—Energy: What Everyone Needs to Know.

ගමන් බිමන් හොඳින් සැලසුම් කරන්න. හොඳින් සැලසුම් කළොත් ගමන් බිමන් යන වාර ගණන අඩු කරගන්න පුළුවන්. ඒකෙන් බලශක්තිය විතරක් නෙවෙයි ඔයාගේ කාලය, මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්.

පිලිපීනයේ ඉන්න ජෙත්‍රෝ ඉන්ධනවලට හැම මාසෙකම යම් මුදලක් වෙන් කරනවා. “ඉන්ධන, කාලය, මුදල් අඩුවෙන් යන විදිහට මගේ ගමන් සැලසුම් කරන්න ඒක උදව් වෙලා තියෙනවා.”

එදිනෙදා වැඩවලදී

ඔයා පාවිච්චි කරන උණු වතුර ප්‍රමාණය අඩු කරන්න. එක සමීක්ෂණයකට අනුව “ඕස්ට්‍රේලියාවේ නගරවල බලශක්ති පරිභෝජනය අතින් 1.3%ක්ම වැය වෙන්නේ උණු වතුර පාවිච්චියටයි. ඒ කියන්නේ ගෙදරක බලශක්ති පරිභෝජනයෙන් 27%ක්ම වැය වෙන්නේ උණු වතුරවලටයි.”

වතුර රත් වෙන්න ලොකු බලශක්තියක් වැය වෙන නිසා උණු වතුර පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරන්න. දකුණු අප්‍රිකාවේ වික්ටර් මෙහෙම කියනවා. “අපි නානකොට උණු වතුර පාවිච්චිය පුළුවන් තරම් අඩු කරනවා.” උණු වතුර පාවිච්චිය අඩු කරද්දී ‘වැය වෙන වතුර ප්‍රමාණයත් බලශක්තියත් ඉතිරි වෙනවා, වතුර සහ බලශක්තිය සපයන ආයතනවලට ඉතිරියක් ලැබෙනවා වගේම නිවැසියන්ගේ මුදල් ඉතිරි වෙනවා’ කියලා එක විද්‍යාඥයෙක් කියලා තියෙනවා.

අවශ්‍ය නැත්නම් ක්‍රියා විරහිත කරන්න. විදුලි බුබුළු, ගෘහ විදුලි උපකරණ, ටීවී, කොම්පියුටර් වගේ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කරන්නේ නැති වෙලාවලදී ඒවා ක්‍රියා විරහිත කරන්න. ක්‍රියා විරහිත කළත් ඒවාට යම් විදුලියක් වැය වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂඥයන් කියන්නේ ඒ උපකරණ ප්ලග් එකෙන්ම ගලවලා දාන්න කියලයි. එහෙම නැත්නම් ප්ලග් එක වයර් කෝඩ් එකකට සවි කරලා අවශ්‍ය නැති වෙලාවලදී ස්වීච් එකෙන් ඒක ක්‍රියා විරහිත කරන්න කියලයි. “පාවිච්චි කරන්නේ නැති වෙලාවලදී මං ලයිට් ඕෆ් කරනවා. ඒ වගේම විදුලි උපකරණ ප්ලග් එකෙන්ම ගලවලා දානවා” කියලා කලින් සඳහන් කරපු ෆනෑන්ඩු කියනවා.

බලශක්තිය නිපදවන්න වැය වෙන මුදල අඩු කරන්නත් බලශක්තිය නිපදවද්දී පරිසරයට වෙන හානිය අඩු කරන්නත් අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. ඒත් අපිට පුළුවන් බලශක්තිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. ලෝකේ ඉන්න හැමෝම ඒ දේ කරන්න විවිධ ක්‍රමයන් හොයනවා. බලශක්තිය ඉතිරි කරගන්න ලොකු වෑයමක් වගේම හොඳ සැලැස්මකුත් ඕනේ. ඒත් ඒකෙන් වෙන ප්‍රයෝජන ගැන හිතන්න. “එහෙම කරද්දී පරිසරය රැකගන්න විතරක් නෙවෙයි සල්ලි ඉතිරි කරගන්නත් පුළුවන්” කියලා මෙක්සිකෝවේ වැල්රියා කියනවා.

^ 10 ඡේ. වායුසමීකරණ පාවිච්චි කරද්දී ඒවා නිෂ්පාදනය කරන සමාගමේ උපදෙස් පිළිපදින එක වැදගත්. මොකද සමහර වායුසමීකරණ පාවිච්චි කරද්දී දොරක් හරි ජනේලයක් හරි ඇරලා තියන්න කියලා උපදෙස් පත්‍රිකාවේ තියෙනවා.