Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

ත්‍රාසයෙන් ලැබෙන සතුට වටිනවාද?

ත්‍රාසයෙන් ලැබෙන සතුට වටිනවාද?

ප්‍රශ්නය

“දවසක් මං දුම්රිය උමං මාර්ගයක් ඇතුළට ගිහින් රේල් පාර ළඟම හිටගෙන හිටියා. කෝච්චිය හිතාගන්නවත් බැරි වේගයෙන් ඇඟේ ගෑවී නොගෑවී වගේ යද්දී මට දැනුණේ පුදුම හැඟීමක්. ඒ ටික වෙලාවට මගේ ප්‍රශ්න හැම එකක්ම අමතක වුණා.”—ලියොන්. *

“උස කඳුගැටයකට නැඟලා වතුරට පනිද්දී ගත වෙන තත්පර කීපයේ මට දැනුණේ පුදුම නිදහසක්. ඒත් බයක් දැනුණේ නැතුවමත් නෙවෙයි.”—ලරිසා.

ලියොන්, ලරිසා වගේ හුඟක් යෞවන අය එයාලගේ හැකියාවන් හඳුනගන්න ත්‍රාසජනක දේවල් කරනවා. සමහර වෙලාවට එයාලා ඒක කරන්නේ ජීවිතේ අනතුරේ දාගෙන. ඔයාත් ඒ වගේ කෙනෙක්ද?

දැනගන්න ඕන දේ

ත්‍රාසයෙන් වින්දනයක් ලබන්න ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරද්දී ටික වෙලාවකට වින්දනයක් ලැබුණත් ඒ වින්දනය තව තවත් ලබන්න ඕනෙ කියලා ඔයාට හිතෙයි. මාකෝ වගේම ලියොන්නුත් කෝච්චියක් යද්දී ඒ ළඟින් හිටන් ඉන්න ආස කරපු කෙනෙක්. එයා මෙහෙම කියනවා. “ඒක කරන්න කරන්න ආස හිතෙනවා.”

රෝද සපත්තු දාගෙන මහපාරේ යන වාහන අල්ලන් වේගයෙන් යන්න ජස්ටින් හරිම ආසයි. එයා මෙහෙම කියනවා “ඒකෙන් ලැබෙන වින්දනය නිසා මට ඒක හැම තිස්සේම වගේ කරන්න හිතුණා. මට ඕන වුණේ මිනිස්සු ඉස්සරහා වැඩකාරයෙක් වෙන්න. ඒත් අන්තිමේදී මං නතර වුණේ ඉස්පිරිතාලේ.”

යාළුවන්ගෙන් එන පීඩනය නිසා ඔයා මෝඩ දෙයක් වුණත් කරන්න පෙලඹෙයි. මර්වින් මෙහෙම කියනවා. “දවසක් මගේ යාළුවෝ ආරක්ෂාවට කිසිම දෙයක් දාගන්නේ නැතුව උස බිල්ඩිමකට නඟින්න කියලා මට බල කළා. මං ඒකට කැමති වුණේ නැහැ. ඒත් ආපු පීඩනය නිසා ඒක කරන්නම වුණා. වෙව්ල වෙව්ල තමයි මං ඒකට නඟින්න පටන්ගත්තේ.” කලින් සඳහන් කරපු ලරිසා කිව්වේ “හිතන්නේ බලන්නේ නැතුව මං අනිත් අය කරපු හැම දෙයක්ම කළා” කියලයි.

ඉන්ටනෙට් එකෙනුත් පෙන්වන්නේ ත්‍රාසයක් දෙන දේවලින් සතුටක් ලැබෙනවා මිසක් ඒවායේ කිසි අනතුරක් නැහැ කියලයි. ඒ වගේ දේවල් කරන අය ඉන්ටනෙට් එකට දාන වීඩියෝස් ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒවා බලන හුඟක් අය ඒ දේවල්ම කරන්න පෙලඹෙනවා.

උදාහරණෙකට ආරක්ෂාවට කිසිම දෙයක් පළඳින්නේ නැතුව බිත්ති, ගෙවල්, පඩි පෙළවල් වගේ තැන්වල දුවලා පැනලා ත්‍රාසයක් ලබන අයගේ වීඩියෝස් ඕන තරම් තියෙනවා. ඒවා බලන අය ‘ඒකෙන් ලොකු අනතුරක් වෙන්නේ නැහැ’ කියලත් ‘හැමෝම ඒක කරනවානේ’ කියලත් නිගමනය කරන්න පුළුවන්. ඔයාත් එහෙම හිතන්න ගියොත් ජීවිතේ අනතුරේ දාන ඒ දේවල් කරන්න ඔයාත් පෙලඹෙයි.

ඔයාගේ හැකියාවන් ගැන දැනගන්න ජීවිතේ අනතුරේ දාන්නම ඕනෙ නැහැ. ක්‍රීඩකයෙකුට පුහුණු වීම් කටයුතුවලින් යම් ප්‍රයෝජන ලැබෙනවා කියලා බයිබලයේ කියනවා. (1 තිමෝති 4:8) ඒත් හැම දෙයක්ම “හොඳ සිහිකල්පනාවෙන්” කරන්න කියලත් බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා. (තීතස් 2:12) ඒක කරන්න පුළුවන් කොහොමද?

කරන්න පුළුවන් දේ

අවධානමක් තියෙනවාද කියලා හිතන්න. බයිබලයේ මෙහෙම කියනවා. “සිහිකල්පනාව ඇති සියලුදෙනා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරති. නමුත් අඥානයා සෑම තැනම මෝඩකම පතුරුවයි.” (හිතෝපදේශ 13:16) දෙයක් කරන්න කලින් ‘ඒකෙන් මගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්ද’ කියලා හිතලා බලන්න.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 14:15.

ජීවිතයේ වටිනාකම තේරුම් අරන් ඉන්න අයව යාළුවන් කරගන්න. හොඳ යාළුවෝ කවදාවත් ජීවිතේ අනතුරේ දාන දේවල් කරන්න කියලා ඔයාට බල කරන්නේ නැහැ. ලරිසා මෙහෙම කියනවා. “මං හොඳ යාළුවෝ තෝරාගත්තාට පස්සේ මගේ ජීවිතේ වෙනස් වුණා. දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතන්න එයාලා මට උදව් කළා.”—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 13:20.

දෙයක් කරන්න කලින් ‘ඒකෙන් මගේ ජීවිතේට හානියක් වෙන්න පුළුවන්ද’ කියලා හිතලා බලන්න

ජීවිතේ අනතුරේ දාන්නේ නැතුව ඔයාගේ හැකියාවන්වලින් සතුටක් ලබන්න. “තමන්ට ගැළපෙන්නේ මොන වගේ ප්‍රතිපත්තිද තමන්ට තියෙන්නේ මොන වගේ හැකියාවන්ද කියලා කෙනෙක් තේරුම්ගන්නේ” එයාගේ වර්ධනයත් එක්කමයි කියලා එක පොතක සඳහන් වෙනවා. (Adolescent Risk Behaviors) ඒත් ඔයා ඒ හැකියාවන් අඳුනගන්න ඕනෙ ඔයාගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැති විදිහටයි. එතකොටයි ඔයාට ඒකෙන් සතුටක් ලබන්න පුළුවන් වෙන්නේ.

වැදගත් දේවල් කරලා හොඳ නමක් දිනාගන්න. මිනිසුන්ට ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්නේ ඔයා ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනවා දකිද්දී මිසක් ත්‍රාසයක් ලැබෙන දේවල් කරනවා දකිද්දී නෙවෙයි. ලරිසා මෙහෙම කියනවා. “උස කඳුගැටිවලින් වතුරට පනින එක වගේ ජීවිතේ අනතුරේ දාන හුඟක් දේවල් මං කළා. ඒත් දැන් මට හිතෙනවා මුල ඉඳලාම ඒ දේවල් කරන්න පෙලඹීම් එද්දී ඒවාට බැහැ කියලා කිව්වා නම් කොච්චර හොඳද කියලා.”

මේක මතක තියාගන්න: විනෝදෙට දේවල් තෝරාගද්දී ත්‍රාසජනක දේවල් කරලා ජීවිතේ අනතුරේ දානවා වෙනුවට සිහිකල්පනාවෙන් වැඩ කරන්න.—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 15:24.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.